හෘදය
From Wikipedia, the free encyclopedia
හෘදය (ඉංග්‍රීසි: Heart) යනුවෙන් හැඳන්වෙන්නේ මිනිසුන් සහ වෙනත් සතුන් තුළ දක්නට ලැබෙන පේශීමය අවයවයකි. මෙය සංසරණ පද්ධතියේ රුධිර වාහිනී ඔස්සේ රුධිරය පොම්ප කරයි.[1] රුධිරය මගින් සිරුරට ඔක්සිජන් සහ පෝෂක සැපයීම සිදුකරන අතර, පරිවෘත්තීය අපද්‍රව්‍ය බැහැර කිරීමට ද ආධාර වේ.[2] හෘදය පිහිටා ඇත්තේ උරස් කුහරයේ මධ්‍ය අවකාශය තුළ ය.[3]
හෘදය | |
---|---|
තොරතුරු | |
ලතින් | cor |
ග්‍රීක | kardía (καρδία) |
පද්ධතිය | සංසරණ |
ධමනිය | මහා ධමනිය,[lower-alpha 1] පුප්ඵුසීය මහාපථය සහ දකුණු හා වම් පුප්ඵුසීය ධමනි[lower-alpha 2] දකුණු කිරීටක ධමනිය, වම් මහා කිරීටක ධමනිය[lower-alpha 3] |
ශිරාව | උත්තර මහා ශිරාව, අධර මහා ශිරාව,[lower-alpha 4] දකුණු සහ වම් පුප්ඵුසීය ශිරා,[lower-alpha 5] මහා හෘත් ශිරාව, මධ්‍ය හෘත් ශිරාව, කුඩා හෘත් ශිරාව, පූර්ව හෘත් ශිරා.[lower-alpha 6] |
ස්නායුව | Accelerans nerve, සංචාර ස්නායුව |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.526 |
MeSH | A07.541 |
TA | A12.1.00.001 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.
මිනිසුන්, සෙසු ක්ෂීරපායීන් සහ පක්ෂීන් තුළ හෘදය කුටීර හතරකට බෙදී පවතියි: ඉහළින් පිහිටි වම් සහ දකුණු කර්ණිකා සහ පහළින් පිහිටි වම් සහ දකුණු කෝෂිකා ලෙස ය.[4][5] සාමාන්‍යයෙන් දකුණු කර්ණිකාව සහ කෝෂිකාව එක්ව දකුණු හෘදය ලෙසත්, ඔට අනුරූප වම් පෙදෙස වම් හෘදය ලෙසත් හඳුන්වනු ලබයි.[6] මීට සාපේක්ෂව මත්ස්යයින්හට ඇත්තේ හෘත් කුටීර දෙකකි. එනම් කර්ණිකාවක් හා කෝෂිකාවක් ලෙස ය. නමුත් උරගයින්ට කුටීර තුනක් ඇත.[5] නිරෝගී හෘදයක් තුළ රුධිරය ගමන් කරන්නේ හෘදය තුළින් එක් දිශාවකට පමණි. මේ සඳහා හෘදයේ හෘත් කපාට පිහිටා ඇත. එමගින් ආපසු ගැලීම වළකියි.[3] හෘදය පෙරිකාඩියම නැමැති ආරක්ෂක පැසක් තුළ පිහිටයි. මෙහි තරලය සුළු වශයෙන් අන්තර්ගත වේ. හෘදයේ බිත්තිය ස්තර තුනකින් සෑදී ඇත. එනම්: එපිකාඩියම, මයෝකාඩියම, සහ එන්ඩොකාඩියම වශයෙනි.[7]
හෘදය සිරුර පුරා රුධිරය පොම්ප කරන පේශිමය අවයවයකි. මෙහි රිද්මය ඇති කරන්නේ සයිනො-හෘත්කර්ණික ගැටයේ පිහිටි ගතිකාරක සෛල මගිනි. මෙමගින් ජනනය වන විද්‍යුත් ආවේගය මගින් හෘදයේ සංකෝජනය සිදු වේ. මෙය හෘත් කර්ණික-කෝෂික ගැටය ඔස්සේ හෘදයේ සන්නයන පද්ධතිය තුළින් ගමන් කරයි. සංස්ථානික සංසරණයේ දී හෘදය තුළට ඔක්සිජන් හිග රුධිරය ලැබෙන අතර, මෙය උත්තර සහ අධර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවට ඇතුළු වේ. අනතුරුව එම රුධිරය දකුණු කෝෂිකාව වෙත ගමන් කරයි. එතැනින් රුධිරය පුප්ඵුසීය සංසරණය ඔස්සේ පෙනහැලි වෙත පොම්ප කෙරේ. එහිදී රුධිරයට ඔක්සිජන් ඇතුළු වන අතර, කාබන් ඩයොක්සයිඩ් ඉවත් වේ. ඔක්සිජනීකෘත රුධිරය අනතුරුව වම් කර්ණිකාව වෙත ඇතුළු වන අතර, වම් කෝෂිකාවෙන් මහා ධමනිය ඔස්සේ යළි සංස්ථානික සංසරණය වෙත පොම්ප කෙරේ. එහිදී ලබාගත් ඔක්සිජන් භාවිතයට ගැනෙන අතර, පරිවෘත්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් බවට බිඳහෙළයි.[8] හෘදය ස්පන්දනය වන්නේ ආසන්න වශයෙන් මිනිත්තුවට ස්පන්දන 72ක ශීඝ්‍රතාවකිනි.[9] ව්‍යායාමවල නිරතවීමෙන් හෘත් ස්පන්දන ශීඝ්‍රතාව තාවකාලිකව වැඩිවේ. එය දිගුකාලීනව අක්‍රීය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව අඩු කරයි. මෙය සෞඛ්‍යයට හිතකර වේ.[10]
2008 වන විට ගෝලීයව වඩාත්ම සුලබ මරණ සඳහා හේතුව ලෙස හෘත්සනාල රෝග (CVD) හඳුනාගෙන තිබේ. එය සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 30%කි.[11][12] මේ අතුරිනුන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් කිරීටක ධමනි රෝගය සහ ආඝාතය නිසා ඇති වූ ඒවායි.[11] මේ සඳහා බලපාන අවදානම් සාධක අතර දුම්පානය, අධික බර, ව්‍යායාම මඳ වීම, ඉහළ කොලෙස්ටරොල්, අධි රුධිර පීඩනය, සහ දුබල ලෙස පාලනය වූ මධුමේහය වැනි සාධක ප්‍රධාන තැනක් ගනියි.[13] හෘත්සනාල රෝග බොහෝවිට පූර්ව සංකූලතාවන් දක්නට නොලැබෙන අතර, ඇතැම්විට පපුවේ වේදනාව හෝ කෙටි හුස්ම වැනි ලක්ෂණ දැකගත හැක. හෘදය පිළිබඳ රෝග විනිශ්චය සිදුකරනු ලබන්නේ වෛද්‍ය වාර්තා ඉතිහාසය, වෙදනලාවකින් හෘත්-ශබ්දවලට සවන්දීම, ECG, සහ අතිධ්වනි පරිලෝකන මගිනි.[3] හෘද රෝග පිළිබඳ සිය අවධානය යොමු කරන විශේෂඥ වෛද්‍යවරුන් හෘත් වෛද්‍යවේදීන් ලෙස හඳන්වයි. නමුත් ප්‍රතිකාර සඳහා වෙනත් විශේෂඥයින් ද දායක විය හැක.[12]