ඈන් හැතවේ
From Wikipedia, the free encyclopedia
ඈන් ජැකලීන් හැතවේ (උපත 1982 නොවැම්බර් 12) යනු ඇමරිකානු නිළියක සහ ගායිකාවකි. නිව් යෝක්හි බෲක්ලින්හි උපත ලද ඇය හැදී වැඩුණේ නිව් ජර්සියේ මිල්බර්න්හි ය. හැතවේ රංගනය කෙරෙහි යොමුවූයේ ඇගේ මවගේ බලපෑම මත වන අතර, උසස් පාසල් ශිෂ්‍යාවකව සිටි සමයේ ඇය උසස් පාසල් නිළියකගේ හොඳම රංගනය සඳහා පේපර් මිල් ප්ලේහවුස් නැගී එන තරුව සම්මානය සඳහා නිර්දේශ වූයේ වන්ස් අපොන් අ මැට්රස්හි ඇගේ රංගනය වෙනුවෙනි. ඇය වෘත්තීමය වශයෙන් තිර ප්‍රවේශය සනිටුහන් කළේ කෙටි-කාලීන ෆොක්ස් රූපවාහිනී කතාමාලාවක් වූ ගෙට් රියල් (1999–2000) තුළිනි. පසුව ඇය ඩිස්නි ප්‍රහසන චිත්‍රපටයක් වූ ද ප්‍රින්සස් ඩයරීස් (2001) චිත්‍රපටයේ මියා තර්මොපොලිස් නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මේ වෙනුවෙන් ඇය තේරීම චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. නිකොලස් නිකල්බි (2002), එලා එන්චෑන්ටඩ් (2004), ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් (2004), සහ හුඩ්වින්කඩ්! (2005) තුළ ඇගේ රංගනය වෙනුවෙන් හැතවේ "ළමයින් සඳහා චරිත නිරූපිකාවක" ලෙස පුළුල් පැසසුමට ලක්වූවා ය.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
2005දී හැතවේ වඩා වැඩිහිටි චරිත කරා සංක්‍රමණය සනිටුහන් කළ අතර හැවොක් (2005) චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ඩීවීඩී විශිෂ්ට සම්මානය හිමිකරගත්තා ය. විචාරක පැසසුමට පත් බ්රෝක්බැක් මවුන්ටන් (2005) හි ඇගේ රංගනය වෙනුවෙන් ඇය ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මානය සඳහා නිර්දේශ වූවා ය. ඇය තවදුරටත් ජනාදරයට පත්වූයේ මෙරිල් ස්ට්‍රීප් සමග ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා (2006) චිත්‍රපටයේ රංගනය නිසායි. බිකමිං ජේන් (2007) චිත්‍රපටයේ ජේන් ඔස්ටින්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය නිළියකගේ හොඳම නිරූපණය සඳහා වූ BIFA නිර්දේශයක් හිමි කරගත්තා ය. රේචල් ගෙටිං මැරීඩ් (2008) චිත්‍රපටයේ පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ කාන්තාවකගේ චරිතය නිරූපණය වෙනුවෙන් හැතවේ විචාරක ප්‍රශංසා හිමි කරගත්තා ය. මේ සඳහා ඇය හොඳම නිළිය සඳහා විචාරක තේරීම් චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්, සහ ඉන්ඩී ස්පිරිට් සම්මාන සඳහා නිර්දේශ වූවා ය. බ්‍රයිඩ් වෝර්ස් (2009) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය දෙවන තේරීම් චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම් සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. 2010දී ඇය බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳහෙළූ වැලන්ටයින්’ස් ඩේ, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් සහ ලව් ඇන්ඩ් අදර් ඩ්‍රග්ස් චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා ය. මින් අවසානයට සඳහන් කළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සැටලිය්ට් සම්මානය හිමි කරගත් අතර, හොඳම නිළිය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය – සලරූ ප්‍රහසන හෝ සංගීතමය සම්මානය සඳහා නිර්දේශ වූවා ය.
2011දී, හැතවේ රියෝ සජීවීකරණ චිත්‍රපටයේ ජුවෙල්ගේ චරිතය සඳහා හඬකැවූ අතර, ජේම්ස් ෆ්රැන්කෝ සමග 83වන ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවූවා ය. 2012දී ඇය ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ද ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටයේ කැට්වුමන්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය සඳහා සැටර්න් සම්මානය හිමි කරගත්තා ය. එම වර්ෂයේම ටොම් හූපර්ගේ ලෙස් මිසෙරබල්ස් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ෆැන්ටීන්ගේ චරිතය වෙනුවෙන් ඇය පැසසුමට පත් අතර, හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, BAFTA, සහ SAG සම්මාන හිමි කරගත්තා ය. අනතුරුව හැතවේ රියෝ 2 (2014), ඉන්ටර්ස්ටෙලර් (2014), ද ඉන්ටර්න්| (2015) චිත්‍රපට සඳහා සිය දායකත්වය සැපයූ අතර , ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016) චිත්‍රපටයේ ඇගේ සුදු රැජිනගේ චරිතය නැවතත් නිරූපණය කළා ය.
පීපල් සඟරාව විසින් හැතවේ 2001 වර්ෂයේ කැපීපෙනෙන නිළියන් අතුරින් අයකු ලෙස නම් කළ අතර,[1] 2006දී ඇය ලොව රූමත්ම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් විය.[2] රෆායෙලෝ ෆොලියෙරි සමග සිව් වසරක සම්බන්ධතාවයෙන් පසුව, හැතවේ 2002දී ඇඩම් ෂුල්මන් සමග විවාහ වූවා ය. 2016 මාර්තු මස ඇය පුත්‍රයකු බිහිකළා ය.