වීගන්වාදය (Veganism)
සතුන් භාවිතය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් / From Wikipedia, the free encyclopedia
සත්ව නිෂ්පාදනවලින් තොරවෙමින්, විශේෂයෙන්ම සත්ව ආහාර පරිභෝජනයෙන් තොරවෙමින් සතුන්ට වෙළඳ භාණ්ඩයක තත්වයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ දර්ශනය මෙහිදී සාකච්ඡා කෙරේ. මෙලෙස සත්ව ආහාරවලින් තොර ආහාර රටාවක් අනුගමනය කරන්නෙකු, හෝ මෙම දර්ශනය පිළිපදින්නෙකු වීගන්වාදියෙකු ලෙස හැඳින්වේ. මෙම දර්ශනයේ විවිධ පැතිකඩ වේ. ඇතැම්හු සත්ව ආහාර ප්‍රතික්ෂේප කරති. දැඩි නිර්මාංශිකයන් ලෙස හඳුන්වන මොවුන් මස්, බිත්තර, කිරි නිෂ්පාදන සහ වෙනත් සතුන්ගෙන් ව්‍යුත්පන්න වූ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් වැළකී සිටියි. තවත් පිරිසක් සත්ව ආහාරවලින් තොර ආහාර වේලක් අනුගමනය කිරීමෙන් පමණක් නොනැවතී මෙම දර්ශනය ඔවුන්ගේ ජීවිතයේ අනෙකුත් ඉසව්වලටද ව්‍යාප්ත කරමින් කිසිදු කටයුත්තක් සඳහා සතුන් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරයි. මොවුන් සදාචාරාත්මක නිර්මාංශිකයන් ලෙස හැඳින්වේ. මෙහි තවත් පැතිකඩක් නම් සත්ව ගොවිතැන පාරිසරික වශයෙන් හානිකර බව හා තිරසාර නොවන බවට තර්ක කරමින් සත්ව නිෂ්පාදනවලින් වැළකී සිටීමයි. මෙය පාරිසරික වීගන්වාදය නමින් හඳුන්වයි.
හොඳින් සැලසුම් කළ සත්ව ආහාරවලින් තොර ආහාර රටාව, ළදරු අවධිය හා ගර්භණී අවධිය ඇතුළුව ජීවිතයේ සෑම අවධියකටම සුදුසු බවට American Academy of Nutrition and Dietetics, Dietitians of Canada, the Australian National Health and Medical Research Council, New Zealand Ministry of Health, Harvard Medical School සහ The British Dietetic Association යන ආයතන ප්‍රකාශ කොට ඇත. The German Society for Nutrition විසින් ළමුන් හෝ නව යොවුන් දරුවන් සදහා හෝ ගර්භණී සමයේදී හෝ මව්කිරි ලබා දෙන සමයේදී කාන්තාවන් සදහා මෙම ආහාර රටාව නිර්දේශ නොකරයි. සත්ව ආහාර වලින් තොර ආහාර වේල පරිවෘත්තීය සින්ඩ්‍රෝමයට එරෙහිව ආරක්ෂිත බලපෑමක් ඇතිකරන බවට පවතින සාක්ෂි අසම්පූර්ණ වුවද, බර අඩු කරගැනීමට (විශේෂයෙන් කෙටිකාලීනව) දායක විය හැකි බවට පැහැදිලි සාක්ෂි ඇත. සත්ව ආහාරවලින් තොර ආහාරවල තන්තු, මැග්නීසියම්, ෆෝලික් අම්ලය, විටමින් C, විටමින් E, යකඩ සහ ෆයිටොකෙමිකල් ප්‍රතිශතය ඉහළ වේ. එලෙසම ශක්තිය, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, දිගු දාම ඔමෙගා-3 මේද අම්ල, විටමින් D, කැල්සියම්, සින්ක් සහ විටමින් B12 අඩුවේ. නොසැලකිළිමත් ලෙස නම් ගන්නේ, සියලුම සත්ව නිෂ්පාදන බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, සත්ව ආහාර වලින් තොර ආහාර වේලක් පෝෂණ ඌනතාවයන්ට හේතුවිය හැකි අතර බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකියි. මෙම ඌනතාවලින් සමහරක් වළක්වාගත හැක්කේ ශක්තිය ගෙනෙන ආහාර තෝරාගැනීමෙන් හෝ නිතිපතා ආහාර අතිරේක ගැනීමෙන් පමණි. විටමින් B12 අතිරේකය විශේෂයෙන් වැදගත් වන්නේ එහි ඌනතාවය රුධිරය සම්බන්ධ ගැටලු සහ ආපසු හැරවිය නොහැකි ස්නායු ආබාධවලට හේතුවන බැවිනි.
ඩොනල්ඩ් වොට්සන් (Donald Watson) 1944දී එක්සත් රාජධානියේදී Vegan Society in the UK ආරම්භ කරන විට පළමුවරට "vegan" යන යෙදුම භාවිතා කළේය. මුලදී ඔහු එය භාවිතා කළේ කිරි-නොවන නිර්මාංශ ආහාර ගන්නන් (non-dairy vegetarian) යන්න අදහස් කිරීමටයි. 1945 මැයි සිට මොවුන් බිත්තර, මී පැණි, සතුන්ගේ කිරි, බටර් සහ චීස් යන ආහාර ද ප්‍රතික්ෂේප කළේය. 1951 සිට සමිතිය එය අර්ථ දැක්වූයේ "සතුන් සූරාකෑමෙන් තොරව මිනිසා ජීවත් විය යුතුය යන ධර්මය" ලෙසටයි.[1] සත්ව ආහාරවලින් තොරවීම පිළිබඳ උනන්දුව 2010 ගණන්වල, විශේෂයෙන් 2010 අගභාගයේදී වැඩිවිය. තවත් වීගන් වෙළඳසැල් විවෘත වූ අතර වීගන් විකල්ප ලොවපුරා සුපිරි වෙළඳසැල්වල හා අවන්හල්වල වැඩි වැඩියෙන් ලබාගත හැකිවිය.