ප්රවේණි විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ප්‍රවේනි විද්‍යාව යනු ජීව විද්‍යාවේ සිදුකරන අධ්‍යයනයක් වන අතර එය ජීවීන්ගේ ප්‍රවේනිය සහ විවිධත්වය පිළිබදව සිදුකෙරෙන අධ්‍යයනයකි. ප්‍රවේනිය පිළිබදව වූ දැනුම නිසැක වශයෙන්ම පුර්ව ඓතිහාසික යුගවලදී පවා භාවිතා වූ බවට ඇති සාක්ෂි වන්නේ එකල වරණාත්මක අභිජනනය මගින් වගා ශාක සහ සත්වයන්ගෙන් වැඩි ඵලදාවක් ලබාගැනීම මගිනි. කෙසේ වුවද ප්‍රවේනිය පිළිබදව වූ නූතන විද්‍යාව 19 වන ශතවර්ෂයේ මැද භාගයේ විසූ ග්‍රෙගර් මෙන්ඩල් විසින් සොයා ගන්නා ලදී. ප්‍රවේනිය පිළිබදව වූ භෞතික විද්‍යාව පිළිබදව ඔහුට අවබෝධයක් නොතිබුණද ඔහු විසින් කරන ලද නිරීක්ෂණයක් වූයේ ප්‍රවේනිය මූලික වශයෙන් ව්‍යක්ත ක්‍රියාවලියක් වන අතර විශේෂ ගති ලක්ෂණයන් එකිනෙකට ස්වාධීනව උරුම වන බවයි. ප්රවේනියෙහි මෙම මූලික ඒකක මේ වන විට ජාන ලෙසට හදුන්වයි.
ඩී.එන්.ඒ වල ඇති නොයෙකුත් කොටස් මගින් ජාන නියෝජනය වේ. ඩී.එන්.ඒ යනු විවිධ නියුක්ලියෝ ටයිඩ වර්ග හතරකින් සෑදුනු දාමයකි. මෙම නියුක්ලියෝ ටයිඩ මගින් ජීවින්ට උරුම වන ප්රවේනිගත තොරතුරු හිමි වේ. ඩී.එන්.ඒ ස්වාභාවිකව පවතින්නේ දාම දෙකක් වශයෙනි. එක් දාමයක ඇති නියුක්ලියෝ ටයිඩ අනෙක් දාමයේ ඇති නියුක්ලියෝ ටයිඩ සමග ගැලපේ. එක් දාමයක් මගින් අළුත් දාමයක් සෑදීම සදහා අච්චුවක් ලෙසට ක්‍රියා කළ හැකිය. මෙය ප්‍රවේනි තොරතුරු පිටපත් කිරීම සහ උරුම වීම සදහා ඇති භෞතික ක්‍රියාවලියයි.
සෛලයක වූ ඩී.එන්.ඒ වල ඇති නියුක්ලියෝ ටයිඩ පිළිවෙලක් මගින් ප්‍රෝටීන සෑදිම සදහා ඉවහල්වුණු විශේෂිත ඇමයිනෝ අම්ල පිළිවෙලක් නිෂ්පාදනය කරනු ලබයි. මේවා ප්‍රවේනි කේත ලෙස හදුන්වති. ප්‍රෝටීනවල ඇති ඇමයිනෝ අම්ලවල පිළිවෙල මගින් ඒවා ත්‍රිමාන අවකාශයෙහි සකස් විය යුතු ආකාරය තීරණය කරයි. අවසානයේදී මෙලෙස නිර්මාණය වන ව්‍යුහය අදාල ප්‍රෝටීනයෙහි කෘත්‍ය සදහා වග කියනු ලබයි. ප්‍රෝටීන මගින් සෛලවල ජීවය සහ ප්‍රජනනය සදහා අවශ්‍යවන සියළුම කෘත්‍යන් සිදුකරනු ලබයි. ඩී.එන්.ඒ. වල පිළිවෙලෙහි ඇතිවන වෙනස්වීමක් මගින් ප්‍රෝටීනවල ව්‍යුහය සහ හැසිරීමෙහිද වෙනස් වීමක් සිදුවිය හැකිය. මෙමගින් සෛලයෙහි සහ අදාල ජීවියා තුළ කැපීපෙනෙන ප්‍රතිවිපාක ඇති කරනු ලබයි.
ජීවියෙකුගේ හැසිරීම සහ පෙනුම තීරණය කිරීම පිළිබදව ප්‍රවේනි විද්‍යාව ප්‍රධාන මෙහෙයක් ඉටු කලද ජිවියෙකුගේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු අත්විදින අවට පරිසරය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. උදාහරණයක් වශයෙන් පුද්ගලයෙකුගේ උස තීරණය වීම සදහා ජාන මගින් කැපීපෙනෙන මෙහෙයක් ඉටු කලද එම පුද්ගලයා කුඩා කලදී අත්විදි සෞඛ්‍ය තත්වය සහ පෝෂණය ඒ සදහා බලපායි.