ඝනත්වය
From Wikipedia, the free encyclopedia
ද්‍රව්‍යයක ස්කන්ධ ඝනත්වය හෝ ඝනත්වය අර්ථ දක්වා ඇත්තේ එම ද්‍රව්‍යයේ ඒකක පරිමාවකට ඇති ස්කන්ධය යනුවෙනි. ඝනත්වය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන සංකේතය වනුයේ ρ (ග්‍රීක හෝඩියේ රෝ අක්ෂරය) ය. සමහර අවස්ථාවල දී (උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් සහ ගෑස් කර්මාන්තයේ දී) ද්‍රව්‍යයේ ඒකක පරිමාවක බර ලෙස ද ඝනත්වය අර්ථ දක්වනු ලැබේ. [1] ;(එනමුත්, ඒකක පරිමාවක බර යන්න නිවැරදි ව හඳුන්වන්නේ විශිෂ්ට බර යනුවෙනි.) විවිධ ද්‍රව්‍යවලට සාමාන්‍යයෙන් ඇත්තේ විවිධ ඝනත්වයන් ය. එබැවින්, උත්ප්ලාවකතාව, සංශුද්ධ කිරීම සහ ඇසුරුම්කරණය යන සංකල්ප සැලකීමේ දී ඝනත්වය වැදගත් සාධකයක් වේ. සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ දී වැඩිම ඝනත්වයක් ඇති ද්‍රව්‍යය ඔස්මියම් වේ.
එකිනෙක මිශ්‍ර නොවන තරල දෙකක් සැලකීමේ දී ඝනත්වය අඩු තරලය ඝනත්වය වැඩි තරලය උඩ පාවේ. ඝනත්වය අඩු ඝන ද්‍රව්‍යය, ඝනත්වය වැඩි තරල මත පාවෙන බව ද, මෙම සංකල්පය ම තව දුරටත් විස්තීරණය කිරීමෙන් කිව හැක. කිසියම් වස්තුවක සාමාන්‍ය ඝනත්වය (දිය ඉමට යටින් ඇති වාතය ඇතුලත් ව) , ජලයේ ඝනත්වය (1.0 gmL-1)ට වඩා අඩු නම් එය ජලයේ පාවෙන අතර එහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් එය ජලයේ ගිලෙයි.
විශිෂ්ට ගුරුත්වය හෝ සාපේක්ෂ ඝනත්වය යනු ඝනත්වය, ඒකක රහිත රාශියක් ලෙස දැක්වීමට යොදා ගන්නා රාශීන් ය. මෙහිදී ජලය හෝ වාතය/වායුවක් වැනි සම්මත ද්‍රව්‍යයක ඝනත්වයෙහි ගුණාකාරයක් ලෙස විශිෂ්ට ගුරුත්වය ප්‍රකාශ කරනු ලැබේ. (උදාහරණයක් ලෙස, විශිෂ්ට ගුරුත්වය 1 ට වඩා අඩු ය යන්නෙන් අදහස් වන්නේ එම ද්‍රව්‍යය ජලයේ පාවෙන බව යි.)
ද්‍රව්‍යයක ස්කන්ධ ඝනත්වය උෂ්ණත්වය හා පීඩනය සමග විචලනය වේ. (එම විචලනය සාමාන්‍යයෙන් ඝන හා ද්‍රව සඳහා කුඩා වන අතර වායු සඳහා ඊට වඩා වැඩි වේ.) වස්තුවක් මත ක්‍රියා කරන පීඩනය වැඩිවත් ම එහි පරිමාව අඩු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඝනත්වය වැඩි වේ. ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වත්ම එහි ගරිමාව වැඩි වීම නිසා ඝනත්වය අඩු වේ. රත් වූ තරලයක ඝනත්වය අඩු නිසා, බොහෝ පදාර්ථවල තරලයට යටින් රත් කරන විට තාපය පහළ සිට ඉහළට සංවහනය වීම සිදු වේ.
තාප ගති විද්‍යාව බහුල ව භාවිත වන විශිෂ්ට පරිමාව යනුවෙන් අදහස් වන්නේ කිසියම් ද්‍රව්‍යයක ඝනත්වයෙහි පරස්පරයයි.ඝනත්වය ඝටනා ගුණයකි. එනම්, ද්‍රව්‍යයේ ප්‍රමාණය වැඩි වත් ම එහි ස්කන්ධය වැඩි වූව ද එහි ඝනත්වය වෙනස් නොවේ.