චීන චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ
From Wikipedia, the free encyclopedia
චීන ලෝකඩ යුගයේ ශේෂව ඇති භාණ්ඩ අතුරින් අගනාම අංගයන් ලෙස චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ සලකනු ලැබේ. ෂෑං රාජවංශ සමයේ දී චීනය පුරාතන ලෝකයේ වඩාත්ම නිපුණ ලෝකඩ-කර්මාන්තයකින් යුත් ශිෂ්ටාචාරයක් බවට පත් විය. ජනයා ලෝහ උණු කොට, දියකොට සහ වාත්තු කොට ආහාර පිසින බඳුන්, උපකරණ, ආයුධ සහ වෙනත් ගෘහභාණ්ඩ නිර්මාණය කළහ. පුරාතන ලෝකඩ භාණ්ඩවල ආරක්ෂාවට දැව මත ලාකඩ ආලේප කිරීම තුළින් පුරාතන චීන ජනයා කෙතරම් හොඳින් මෙම භාණ්ඩ සංරක්ෂණය කළේ දැයි නූතන පුරාවිද්‍යාඥයෝ විස්මයට පත් වෙති.[1] ක්‍රි.පූ. 1650 පමණ සිට මෙම අලංකාර භාණ්ඩ රාජකීයයන්ගේ සහ වංශවතුන්ගේ සොහොන්ගැබ්වල සොහොන් භාණ්ඩ ලෙස තැන්පත් කොට ඇත. මේවා විශාල ප්‍රමාණයෙන් සොහොන්ගැබ්වල තැන්පත් කෙරුණු අතර, වරක් තනි සොහොන්ගැබක කැනීම්වලින් ලෝකඩ භාණ්ඩ 200කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මෙම භාණ්ඩ තනි තනි පුද්ගලයන්ගේ පවුලේ දේවස්ථාන සහ උත්සව ශාලාවන්හි සිය මුතුන් මිත්තන්ට ආහාර සහ පාන වර්ග පූජා කිරීමේ චාරිත්‍ර සඳහා නිර්මාණය වී ඇත. නැතහොත් ජීවත් වන මෙන්ම මියගිය සාමාජිකයන් සඳහා පැවැත්වූ භෝජන සංග්‍රහවල දී මේවා භාවිතා වන්නට ඇත; මුල්කාලීන ලිඛිත වාර්තා තුළ මේ පිළිබඳ සඳහන් වේ. හිමිකරුගේ මරණයේ දී. මෙම භාණ්ජ ඔහුගේ සොහොන්ගැබේ තැන්පත් කෙරිණි. එමගින් ඒවා ඔහුට ඊළඟ දිවියේ දී භාවිතයට ගතහැකි වේ යැයි අපේක්ෂා කෙරිණි. සොහොන් භාණ්ඩ ලෙසම විශේෂයෙන් තැනවූ භාණ්ඩ ද හමුවේ.[2]
චාරිත්‍ර භාණ්ඩ සාමාන්‍ය භෝජන හෝ පානමය කටයුතු සඳහා භාවිතා නොවී ය; මේ සඳහා වටිනා ලෝහවලින් තැනූ වඩා අලංකෘත භාණ්ඩ ප්‍රභේද භාවිතා විය. මේස බඳුන්වලට අමතරව, ආයුධ සහ ඇතැම් භාණ්ඩ විශේෂ චාරිත්‍ර කටයුතු සඳහා නිර්මාණය විය. වෙනත් චාරිත්රමය භාණ්ඩ අතරට සියල්ලටම වඩා වටිනා යැයි සැලකුණු ජේඩ්වලින් තැනූ ආයුධ ආදිය ද අයත් වේ. ක්‍රි.පූ. 4,500 පමණ සිට මේවා චාරිත්‍ර භාණ්ඩ සහ ආයුධ තැනීමට භාවිතා විය.[3]
අවම වශයෙන්, ලෝකඩ නිෂ්පාදන පාලකයාගේ පාලනය යටතේ වත් පවතින්නට ඇත. ඔහු සිය පැහැදීමේ සංකේතයක් ලෙස වංශවතුනට සකස් නොකළ ලෝහ ලබා දී තිබේ.[4]