පළමුවන පරාක්‍රමබාහු රජ
ශ්‍රී ලංකාව පාලනය කළ රජෙකි / From Wikipedia, the free encyclopedia
පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු;[1][2] 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මහජනයාගේ ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ මුහුදට ගලා යාමට ඉඩ දීම නුසුදුසු ය " යන ආදර්ශ පාඨය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.ඔහු හෙළයේ විසූ අභිමානවත් ශ්‍රේෂ්ඨ රජතුමෙකි.[3]
මහා පරාක්‍රමබාහු රජ මාළිගය වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2021 ජනවාරි සිට යෝජිතය. |
පළමුවන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු) රජු | |
---|---|
පොළොන්නරුවේ රජ | |
රාජ්‍ය සමය | 1153 – 1186 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන ගජබාහු |
අනුප්‍රාප්තිකයා | [දෙවන විජයබාහු |
උපත | 1123 පුන්ඛගම/ දැදිගම |
මරණය | 1186 පොළොන්නරුව |
භාර්යාවන් |
|
වංශය | පොළොන්නරුව රාජධානිය |
පියා | මානාභරණ රජ |
මව | රත්නාවලී බිසව |
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කීර්ති ශ්‍රී මේඝවර්ණ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.[4] දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.තව ද සැකිල්ල:දෙමළ මහා සෑය,දැදිගම කොට වෙහෙර,යුධඟනාව දාගැබ හා පොලොන්නරු කිරි වෙහෙරඉන් කිහිපයකි.