From Wikipedia, the free encyclopedia
මගධීරා (සිංහල: මහා රණශූරයා) යනු කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් විසින් රචනා කරන ලද සහ එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2009 ඉන්දියානු තෙලිඟු-භාෂා ප්‍රේම වෘත්තාන්ත-ක්‍රියාදාම චිත්‍රපටයකි. පුනරුත්පත්තිය තේමා කරග්ත මෙම චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ ගීතා ආට්ස්හි අල්ලු අරවින්ද් විසිනි. රාම් චරන් සහ කාජල් අගර්වාල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, දේව් ගිල් සහ ශ්‍රීහරි ද සෙසු ප්රමුඛ චරිත නිරූපණය කරති. මෙහි කතාව දිවෙන්නේ ප්‍රධාන පුද්ගලයන් හතර දෙනකු වටායි: කුමරියකගේ ආරක්ෂාව භාරව සිටින නිර්භීත සෙබලෙක්, ඔහුට පෙම් කරන එම කුමරිය, ඇය කෙරෙහි ආශාවෙන් සිටින ඇගේ ඥාති සොහොයුරා සහ ඔවුන්ගේ රාජධානිය යටත් කරගන්නට අවැසිව සිටින අධිරාජයකු එම චරිත හතර වේ. තම බලපොරොත්තු සඵල කරගැනීමට පෙර මේ සියලුදෙනාම මියයන අතර, වසර 400කට පසු ඔවුහු නැවත උපත ලබති. එහි දී නැවත උපන් අධිරාජයාගේ සහාය ඇතිව කුමන්ත්රණකාරී ඥාති සොහොයුරා මරාදමන සෙබලා කුමරිය සමග යළි එක්වේ.
මගධීරා | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
රචනය | එම්. රත්නම් |
තිර රචනය | එස්. එස්. රාජමෞලි |
කතාවස්තුව | කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | කේ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ |
සංගීතය | එම්. එම්. කීරවානි |
Production company | ගීතා ආට්ස් |
බෙදාහැරීම | ගීතා ආට්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 166 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | 350 මිලියන (2016 දී 620 මිලියන හෝ US$9.6 මිලියන ට සමාන ය)[1] |
ආදායම | 1.5 බිලියන (2016 දී 2.6 බිලියන හෝ US$41 මිලියන ට සමාන ය)[2] |
මිලියන 350ක පිරිවැයක් දරා නිපදවූ මෙහි නිෂ්පාදන කටයුතු 2008 මැයි 2 දින ආරම්භ විය. ප්‍රධාන ඡායාරූපකරණය 2008 මාර්තු 19 දින ඇරඹිණි. මෙහි සිනෙමාරූපණය කේ. කේ. සෙන්තිල් කුමාර් විසින් ද, සංස්කරණය කෝටගිරි වෙන්කටේස්වරා රාඕ විසින් ද සිදුකරන ලදී. නිෂ්පාදන සැලසුම ආර්. රවීන්දර් විසින් සිදුකළ අතර, ක්‍රියාදාම ජවනිකා අධ්‍යක්ෂණය කරන ලද්දේ පීටර් හෙයින් සහ රාම්—ලක්ෂ්මණ් දෙපළ විසිනි. දෘශ්‍ය ප්‍රයෝග ආර්. සී. කමලකන්නන් විසින් සැලසුම් කරන ලද්දේ ඇඩෙල් ඇඩිලි සහ පීට් ඩ්‍රේපර්ගේ සහාය ඇතිවයි. නාමවලිය තුළ "දෘශ්‍ය ප්‍රයෝග නිෂ්පාදක" පිළිබඳ සඳහන් කෙරෙන පළමු තෙලිඟු චිත්‍රපටය ද මෙයයි. එම්. එම්. කීරවානි විසින් මෙහි ධ්වනිපථය නිමැවූ අතර, පසුබිම් ස්කෝරය නිර්මාණය සඳහා ඔහුට කල්‍යාණි මලික්ගේ සහාය ද හිමි විය.
මගධීරා චිත්‍රපටය 2009 ජූලි 31 දින ලොවපුරා තිර 1250ක දී මුදාහැරිණි. විචාරක පැසසුම් ලත් මෙය මිලියන 731ක බෙදාහැරීමේ කොටස් හිමි කරග්තතේ ය. ලොවපුරා බිලියන 1.5ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය වසර පහක් පුරා ඉහළම ආදායම ලබන තෙලිඟු චිත්‍රපටය යන වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය. පසුව 2013දී අත්තරින්ටිකි දාරෙදි චිත්‍රපටය විසින් මෙය අභිබවා යන ලදී. මෙහි දින 1000ක සිනමාහල් ධාවන කාලසීමාව වැඩිම කාලයක් ධාවනය වූ දකුණු ඉන්දියානු චිත්‍රපටය ලෙස චන්ද්‍රමුඛී (2005) තබා තිබූ වාර්තාව අභිබවා ගියේ ය. එසේම බ්ලූ-රේ ගෘහස්ථ මාධ්‍ය නිකුතුවක් ලද ප්‍රථම තෙලිඟු චිත්‍රපටය ද මෙයයි. 57වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය හොඳම නර්තන රචනය සහ විශේෂ ප්‍රයෝග සඳහා ජාතික සම්මාන දිනාගත් අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක්, නන්දි සම්මාන නවයක් සහ සිනෙMAA සම්මාන දහයක් ද හිමි කරගත්තේ ය. චිත්‍රපටය ලද සාර්ථකත්වය හේතුවෙන් මෙහි ප්‍රධාන නළු නිළියන් තරු ලෙස ප්‍රකට විය.
මෙම චිත්‍රපටය දෙමළෙන් මාවීරන් ලෙසත්, මලයාලම් බසින් ධීරා: ද වොරියර් ලෙසත් හඬකවා 2011 මැයි 27 මුදාහැරුණේ පිළිවෙලින් තිර 100ක සහ 50කට අධික සංඛ්‍යාවක ය. මෙම ප්‍රභේද දෙකම ආර්ථික වශයෙන් සාර්ථක විය. 2014දී, රාජ් චක්‍රබෝර්ති විසින් මෙම චිත්‍රපටය බෙංගාලි බසින් ප්‍රතිනිර්මාණය කළේ යොද්ධා: ද වොරියර් ලෙසයි. ඒ සඳහා දේව් සහ මිමී චක්‍රබෝර්ති ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූහ.
ඩර්ට්-බයික් ධාවකයකු වන හර්ෂා වර්ෂාව මධ්‍යයේ ගුවන් තොටුපළ වෙත යාමට ඔටෝ රික්ෂෝවක් කුලියට ගනියි. එහි දී ඔහුට කුලී රියන් නවත්වා ගැනීමට අතවනන තරුණියකගේ ඡායාවක් දිස්වේ. එහි දී ඔහු ද අතවනන අතර ඔහුගේ ඇඟිල්ල ඇගේ ඇඟිල්ලෙහි ගැටෙන්නේ අහඹු අයුරිනි. එවිටම හර්ෂාට සියුම් අතීතාවර්ජනයක් සිහිවන්නේ එම තරුණිය දෛවයේ තමන්ට උරුම වූ තැනැත්තියයි යන හැඟීමත් සමගිනි. ඒ අනුව ඔහු එම තරුණිය පිළිබඳ අසල සිටි ඉන්දිරා (හෙවත් "ඉන්දු") නම් කාන්තාවගෙන් විමසන්නේ සැබැවින්ම එම තරුණිය ඇයම බව නොදැන ය. තමන්ට සරදම් කරන්නේ යැයි සිතන ඉන්දු ඔහුව නොමඟ යවයි. මේ අතර ඇය සහ ඇගේ මිතුරියන් ඔහුගෙන් වාසි ලබාගන්නේ සිය මුදල් අවශ්‍යතා ඔහු ලවා සපුරා ගැනීමෙනි. මේ අතර ඉන්දුගේ දුරස්ථ ඥාති සොහොයුරකු වන රඝුවීර් ඉන්දු කෙරෙහි ආශාවෙන් පසුවෙයි. ඔහු ඉන්දුව සහ ඇගේ පියාව මුළාකොට විශ්වාසය දිනාගනියි. ඉන්දු නිදාසිටින විට ඔහු ඉන්දුව ස්පර්ශ කරන අතර, එහි දී ඔහුට සිය ගෙල සෙබලකු විසින් වෙන්කර දැමූ අයුරු මැවී පෙනේ. රඝුවීර් ඝෝරා නම් තන්ත්‍රික මන්ත්‍රාචාර්යවරයකු මුණගැසෙන අතර, එහි දී ඔහු අනාවරණය කරන්නේ රඝුවීර් පෙර ආත්මයේ ද කුමරකුව ඉපිද ඉන්දුට ආශාවෙන් හිඳ ඇගේ පෙම්වතා අතින් මියගිය බවයි. තමන්ව පෙර භවයේ මරාදැමූ සෙබලාගේ වර්තමාන උපත සොයාගැනීමට රඝුවීර් තීරණය කරයි. මේ අතර ඉන්දු සහ ඇගේ මිතුරියන් තමාව මුළාකොට ඇති බව වටහා ගන්නා හර්ෂා ඇය කෙරෙහි ප්‍රේමයෙන් බඳෙයි.
එම සෙබලාගේ වර්තමාන උපත හර්ෂා බව රඝුවීර් සොයාගනියි. ඉන්දුගේ පියාව මරාදමන ඔහු එයට හර්ෂාව හසුකරන්නේ ඉන්දුව ඔහු කෙරෙහි විරසක කරවීමටයි. රඝුවීර් සහ ඉන්දු හෙලිකොප්ටරයේ නැගී ගමන් කරන විට, හර්ෂා ඔවුන්ව අල්ලාගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වේ. එහි දී ඔහු විලක් තුළට ඇදවැටෙන අතර මරණාසන්න අත්දැකීමකින් පසුව, ඔහුට 1609 සිය පෙර ආත්මය පිළිබද සිහිපත් වේ. එම වර්ෂයේ ෂේර් ඛාන් අධිරාජයා උදයිඝාර් රාජධානිය ආක්‍රමණය කිරීමට උත්සාහ දරයි. එහි දී ඔහුට උදයිඝාඩ් හමුදාවේ සෙන්පති කාල භෛරවා (හර්ෂා) පිළිබඳ අසන්නට ලැබේ. වික්‍රම් සිං රජුගේ දියණිය වන මිත්‍රවින්දා දේවී (ඉන්දු) භෛරවාට පෙම්කරයි. නමුත් ඔහු ඒ බවක් නොපෙන්වයි. ඇගේ ඥාති සොහොයුරා වන රණදේව් බිල්ලා (රඝුවීර්) ද මිත්‍රා කෙරෙහි ආශාවෙන් පසුවෙයි. ඔහු ඇයව දිනාගැනීමේ අරමුණින් භෛරවා සමග තරගයක් පවත්වයි. ජයග්‍රහාකයාට ඇයව හිමිවන අතර, පරාජිතයා උදයිඝාඩ්වලින් නෙරපා හැරේ. භෛරවා ඉන් ජය ලැබීමත් සමග රණදේව් පිටුවහල් කෙරේ. කෙසේනමුත්, වික්‍රම් සිං රහසිගතව භෛරවාගෙන් ඉල්ලා සිටින්නේ සිය දියණියව විවාහ කරනොගන්නා ලෙසයි. භෛරවා සටනේ දී මියයාමට අධික සම්භාවිතාවක් ඇති නිසා ඔහුට මිත්‍රා වැන්දඹුවක වනු දැකීමට අවැසි නොවීම එයට හේතුවයි. කම්පනයෙන් වුව ද, භෛරවා රජුගේ ඉල්ලීම පිළිගෙන තමන් මිත්‍රා සමග විවාහ නොවන බව ප්‍රසිද්ධ කරයි. මෙය මිත්‍රාගේ සිත් තැවුලට හේතුවේ.
අනතුරුව භෛරවා මිත්‍රා, සිය සෙබලුන් සහ ආරක්ෂකයන් සමග භෛරවකෝණා කන්ද වෙත යන්නේ දේව පූජාවක් පැවැත්වීමටයි. සිය ප්‍රේම පිළිගන්නා ලෙස මිත්‍රා භෛරවාගෙන් ඉල්ලා සිටියි. එයට ඔහු ප්‍රතිචාර නොදැක්වූ විට, පූජාව සඳහා රැගෙන ආ පූජා භාණ්ඩ අවුල් කරදමන ඇය ඇගේම රැධිරයෙන් අසල වූ ගල් කුළෙහි භෛරවාගේ සිතුවමක් අඳියි. මේ අතර තුවාල ලත් සෙබලකු පැමිණ පවසන්නේ රණදේව් සහ ෂේර් ඛාන්ගේ හමුදාව විසින් වික්‍රම් සිංව මරාදමා ඔවුන් සිටින ස්ථානය වෙත පැමිණෙන බවයි. මඳ වේලාවකින් ඔවුන් පැමිණෙන අතර, ෂේර් ඛාන් සිය සෙබලුන් සමග සටන් වදින ලෙස භෛරවාට අභියෝග කරයි. එය පිළිගන්නා භෛරවා ඹේර් ඛාන්ගේ සෙබලුන් සියදෙනකුව මරා දමයි. එහි දී ඔහුට ද දැඩිව තුවාල සිදුවේ. භෛරවාගේ නිර්භීත බව දැක සතුටු වන ෂේර් ඛාන් සිය අදහස වෙනස් කරගනියි. කෙසේනමුත්, රණදේව් ඔහුට පහර දෙන අතර, ඔහු මිත්‍රාට මරණීය තුවාල සිදුකරයි. නමුත් භෛරවා විසින් රණදේව්ව මරාදමයි. මියයමින් සිටින මිත්‍රා සිය ප්‍රේමය පාපොච්චාරණය කරන මෙන් භෛරවාගෙන් ඉල්ලා සිටියි. නමුත් භෛරවා එයට පිළිතුරු දීමට පෙර ඇව ගිරි කුළෙන් පහළට ඇදවැටෙයි. ශෝඛයෙන් යුතු භෛරවා ද ගිරිකුළෙන් පහළට පැන මරණයට පත්වේ.
සිය අතීතය සිහිපත් වන හර්ෂාව විලෙහි ගිලීමෙන් බේරාගන්නේ සොලමන් (ෂේර් ඛාන්ගේ නැවත උපතයි) නම් ධීවරයකු විසිනි. සොලමන්ගේ සහාය ඇතිව ඔහු උදයිඝාඩ් වෙත පැමිණෙයි. ඔහු රඝුවීර්ගේ ස්ථානය වෙත ඇතුළු වේ. එහි දී ඔහුට ඝෝරා රඝුවීර්ට දෙන උපදෙසක් ඇසෙයි. ඉන් කියවුණේ එම දවස ඇතුළත ඉන්දුට ඇගේ පෙරභවය සිහිපත් නොවුවහොත්, ඇය සදහටම රඝුවීර්ට හිමිවනු ඇති බවයි. ඉන්දුව පැහැරගන්නා භෛරවා ඇයව භෛරවකෝණා වෙත රැගෙන යයි. රඝුවීර්ගේ අත්වැරදීමකින් ඝෝරා මියයයි. එතැනට හෙලිකොප්ටරයෙන් පැමිණෙන රඝුවීර් තමන් සමග පැමිණෙන මෙන් ඉන්දුගෙන් ඉල්ලා සිටියි. කෙසේනමුත්, ගිරිකුළ මත මිත්‍රා ඇඳි සිතුවම දකින ඉන්දුට සිය පෙරභවය පිළිබඳ සිහි වේ. ඇය හර්ෂා සමග එක්වේ. හර්ෂා රඝුවීර් සමග සටන් වදින අතර, සොලමන්ගේ සහාය ඇතිව ඔහු රඝුවීර්ව මරාදමයි.
එම්. එම්. කීරවානි මෙම චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කළේ ය. ගීත හයකින් සමන්විත එහි ඝරානා මොගුඩු චිත්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ "බංගාරු කෝඩිපෙට්ට" ගීතයේ ප්රතිමිශ්රිත ප්‍රභේදයක් ද ඇතුළත් ය. මෙහි දෙමළ හඬකැවූ ප්‍රභේදය වන මාවීරන්හි ධ්වනිපථය අමතර පථ තුනකින් සමන්විත ය. තෙලිඟු ධ්වනිපථය දියත් කරන ලද්දේ 2009 ජූනි 28 දින හයිදරාබාදයේ ශිල්පකලා වේදිකාහි දී ය.[3] දෙමළ ප්‍රභේදය 2011 අප්‍රේල් 25 දින චෙන්නායිහි දී මුදාහැරිණි.[4]
මෙම චිත්‍රපටය 57වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නර්තන රචනය සහ හොඳම විශේෂ ප්‍රයෝග සඳහා ජාතික සම්මාන හිමි කරග්තතේ ය.[5] මෙම චිත්‍රපටය ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක්,[6] නන්දි සම්මාන නවයක්,[7] සහ CineMAA සම්මාන දහයක් දිනා ඇත.[8]
රාම් චරන් මගධීරාහි හින්දි ප්‍රතිනිර්මාණයෙන් සිය බොලිවුඩ් මංගලාවතරණය කිරීමට තීරණය නොකළේ එම චිත්‍රපටය හොඳින් ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන විශ්වාසය නිසායි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමග සම්මුඛ සාකච්ඡාවක දී, චරන් පැවසූයේ, "මඳ කලකට පසුව මට අනිල් කපූර් මුණගැසුණු පසු ඔහු පැවසූයේ ඔබව යොදා මගධීරා හින්දියෙන් නිර්මාණය කරන්නට මම බොනී කපූර්ගෙන් විමසන්නම්. නමුත් මම පැවසුවේ එම ප්‍රතිනිර්මාණය සිදු කිරීමට මට අවශ්‍යදැයි මා නොදන්නා බවයි. ප්‍රේමනීය චිත්‍රපටයක් වන මගධීරා යළි ප්‍රතිනිර්මාණය කළ නොහැකියි."[9] 2014දී මෙම චිත්‍රපටය බෙංගාලි බසින් ප්‍රතිනිර්මාණය වූයේ යොද්ධා: ද වොරියර් යන නාමයෙනි. රාජ් චක්‍රබෝර්ති විසින් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ දේව් සහ මිමී චක්‍රබෝර්ති විසිනි.[10] අධ්‍යක්ෂක ආර්. චන්දෘ අනුව 2014 කන්නඩ චිත්‍රපටයක් වන බ්රහ්මා නිර්මාණය කිරීමට පෙළඹුණේ මගධීරා අනුව නමුත් එය එහි ප්‍රතිනිර්මාණයක් නොවේ.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.